පුරුෂයෙකු ගේ අනුරාගය.

Ethan Edward. මම නිකමට වගේ හොයලා බැලුවා නුඹ ගේ ඔය නමේ අර්ථය. පුරුෂයා ලෝකයේ තමන්ගේ පැවැත්ම තහවුරු කර ගත් අපූරු ආකාරය ගැන කියවෙන ඒ ශුද්ධ වූ ග්‍රන්ථය ට අනුව Ethan, නුඹ යනු අචල, සැම විටම නොනැසී පවතින, සවිමත්, දිගු ජීවිතයක උරුමකරුවා යි. ඇත්තෙන්ම මිත්‍රයා ඒ නම, ඒ අභිධානය නුඹට තරම් ගැළපෙන තවත් චරිතයක් රිදී තිරයක මා දැක නැති තරම්. ඔව් කිසි සැකයක් නෑ ඒක නුඹට ගැලපෙනම නම.
සමහර විට John Ford නුඹට ඒ නම දෙන්නම ඇත්තේ හොඳ හැටි හිතා බලලයි. ඇත්තටම කිව්වොත් Ethan, ලුතිනන් Aldo Raine (Inglourious Basterds - 2009) ට පස්සේ මම දැකපු සාහසික ම ජාතිවාදියා නුඹ යි. ජාති වාදියෙක් ගැන මගේ හිතේ තියෙන හිතළු සිහින වලට වඩා මම ඇත්තටම කැමතියි මේ ලෝකයේ දිගු මනුස්ස ඉතිහාසයේ සිට අද වෙනතුරු එය නොනැසී පවතින්නේ ඇයිද යන්න තේරුම් ගන්නට. ඇත්තටම Ethan නුඹ මගේ සමහර ප්‍රශ්න වලට උත්තර දුන්නා.
නමුත්, මට නුඹත් එක්ක බේරා ගන්න කාරණාවක් තියෙනව මිත්‍රයා. ඒ කාරණාව John Ford මට නොකියා කියපු යමක්. ඔව් හරියට රහසක් වගේ. ඒ රහස පිරිමියෙක් ගේ ඇට මිදුළු වල පතුලේ ම තැන්පත් වෙච්ච ඔහු කිසිම දාක හෙළි නොකරන ඔහුගේ අනුරාගික ආශාවේ රහසක්. සමහර විට ඒ රහස, ඒ අනුරාගික ආශාව මුළු ජිවිත කාලයක් පුරාම ඒ මිනිහටත් නොදැනීම ඔහුව පාලනය කරනවා කිව්වොත් නුඹ එක පාරටම මාත් එක්ක එකඟ වෙන එකක් නෑ. නමුත්, පොඩ්ඩක් නිවිහැනහිල්ලේ හිතලා බලපන්. අවුරුදු අටකට කලින් නුඹ ගමෙන් පැනලා ගියේ ඇයි? දැන් ඉතින් මට කියන්න එපා Ethan, “ මම මගේ කොලනිය වෙනුවෙන් සතුරාත් එක්ක යුද්ධෙට ගියා” කියලා. එතකොට යුද්දේ ඉවර වෙලත් අවුරුදු තුනක්? අන්න ඒ නිසයි මම අහන්නේ නුඹ ඇයි ගියේ කියලා.
Ethan, මගේ මිත්‍රයා මට ඇත්ත කියපන්. නුඹ Martha ට ආදරය කළා නේද?
Debbie කියන්නේ නුඹේ ඒ අනුරාගික ආශාවේ අග්‍ර ඵලය නේද?
ඇයි නුඹ රත්තෙක් ගේ ප්‍රේමය වෙච්ච Debbie මරලා දාන්න තීරණය කරන්නේ?
උඹේ ලේ වලට තියෙන උඹේ අනුරාගික ආශාව නිසා නේද?
මට ඇත්ත කියපන් මිත්‍රයා.
මේ හැම හිතුවක්කාර කමක ම
මේ හැම ක්‍රෝධය කම
මේ හැම ප්‍රතික්ෂේප කිරීමක ම
මේ හැම වේදනාභරිත තෝරා ගැනීමකම
නිධන්ගත රහස තියෙන්නේ රත්තො ළගවත්, යැංකි න් ළඟවත්, මෙක්සිකන් කාරයෝ ළඟවත්, උන්ගේ භුමියේ, උන්ගේ ආගමේ, උන්ගේ ජාතියේ වත් නෙමෙයි නේද මගේ මිත්‍රයා.
ඒ රහස, ඒ වේදනාවේ ලලාසාව තියෙන්නේ තියෙන්නේ නුඹ ඇතුළෙම
නුඹේ ඇට මිදුළු වලම තැන්පත් වෙච්ච ඒ අනුරාගයේ රහස් ආශාව තුල ම නේද
කොහොම වුනත් John Ford නුඹට කරන්න බල කරපු දේ නොකර නුඹ නුඹේ ම හිතට එකඟ වුනා නම් Ethan, ඇත්තටම එහෙම වුනා නම් මගේ ජිවිතයේ රිදී තිරයක මා දුටු සාහසිකම සත්‍යයේ එළිදරව්ව නුඹ ම වෙන්න ඉඩක් තිබුන මගේ මිත්‍රයා. නමුත් අවසානයේ නුඹ හැම වීරයෙක් ම කරන දේ කළා. නුඹ අකමැත්තෙන් වුනත් ප්‍රේක්ෂකාගාරයට අවනත වුනා. මනුස්ස හැඟීම් ගැන සුදු ම සුදු පාට හීනයක් දකින්න කැමති ඇමෙරිකානුවන් ගේ ව්‍යාජ යහපත් කමට නුඹ ඉඩක් දුන්න මිත්‍රයා. ඒත්, මම කැමතියි නුඹගෙන් අහන්න යමක්.
නුඹ ඇත්තටම Debbie ට වෙඩි තිබ්බ නේද.
නුඹ ඇත්තටම නුඹේ අනුරාගයේ සුරතාන්තයේ සුවය වින්දා නේද.
අන්තිම මිනිත්තුවේ දී මා දුටු සියල්ල මායාවක් නේද.
නුඹ Debbie ගේත්, Martin Pawley ගේත් මළ කඳන් මතින් ප්‍රති වීරයා ගේ ආශාව සන්තර්පණය කළා නේද
ඔව් Ethan, මම දන්නවා සහසුද්දෙන්ම මම අවසානයේ දැක්කේ මායාවක්. John Ford මට පෙන්නුවේ මායාවක්.
අර අවසාන මොහොතේ John Ford කුටුම්බයේ ද්වාරය වහලා නුඹව ආලෝකයට පිටමං කරලා මාව අන්ධකාරයේ තනිකරලා නොකියා කිව්වා දේ දැන් මට තේරෙනවා මිත්‍රයා.
John Ford මට කිව්වේ “නුඹ වැනි මිනිස්සුන්ට මනුස්ස ඉතිහාසයේ කෘර සත්‍යය බර වැඩියි දරුවා. දරා ගන්න අමාරුයි. ඒ නිසා ඒ සත්‍යය ට ආලෝකයේ තනිවෙන්න ඉඩ දීලා නුඹ අන්ධකාරයේ නැවතියන්. මොකද අන්ධකාරය තුල දකින්නට කිසිවක් නැති බැවින් නුඹට සිතෙනා ඕනෑම දෙයක් සත්‍යය ලෙසින් අදහන්නට අයිතියක් ඇත.”
The Searchers 1956.

Comments

Popular posts from this blog

The Light Between Oceans - ආලෝකයේ පාට හොයා ගමු

The Virgin Spring (1960) - නිර්මල දිය දහර.

මාගම් සෝලිය.පිරිමින්ගේ පොළොවේ ගැහැණු... ගැහැණුන්ගේ අහසේ පිරිමි.. ඉතිහාසය ෆැන්ටසියක දැකීම.