මාගම් සෝලිය.පිරිමින්ගේ පොළොවේ ගැහැණු... ගැහැණුන්ගේ අහසේ පිරිමි.. ඉතිහාසය ෆැන්ටසියක දැකීම.

සිංහලයෙන් ලියන ලේඛකයන් සහ සිංහලයෙන් කියවන පාඨකයන් අතර මා දකිනා පරිද්දෙන් සදාතනික බැඳීමක් තිබේ.
ඒ නම්, ලේඛකයා සම්ප්‍රදායික ආකෘතියෙන් මිදී තම සිතුවිළි හැසිරවීමට මැලිකමක් දක්වන අතරම පාඨකයා ද යල්  පැන ගිය ආකෘතියෙන් මිදී කොටුවෙන් පිට සාහිත්‍යය විඳින්නට බිය වීමයි.

කාලෙකට ඉහත සයිමන් නවගත්තේගමයන් වැන්නවුන් සම්ප්‍රදායික රාමුවෙන් පිට රචනාව සිංහල පාඨකයින්ට විඳින්නට සැලැස්වූ  නමුදු මා  දන්නා පරිදි බහුතරයකට ඔහුගේ ලියවිල්ල අපබ්‍රන්සයක්ම විය.

‘මොහාන් රාජ් මඩවල’ (මේ  මා ඔහු කියවන පළමු සහ අවසන් වතාවයි) විසින්  මේ රචනාව තුල සිංහල කථාන්දර කලාව වෙනස් රාමුවක බහා ගොතන්නට ගත් උත්සාහය සැබවින්ම අගය කල යුතුය.

අවංකවම
සමගාමී ලෝක සාහිත්‍යය අසුරු කරන්නෙකුට ඔහුගේ කතාව කලින් කියවා පුරුද්දක් බව දැනුනද……

සිංහල භාෂාවේ අලංකාරය දකින්නට කැමත්තෙන් කියවන්නෙකුට  ඔහුගේ ලියවිල්ල දුප්පත් බව හැඟුනද…….

කතාවේ දාර්ශනික කියවීමට අත්‍යවශ්‍ය වූ රමණයේ ශ්රුන්ගාරාත්මක විස්තරය ඒ ඒ අවස්ථාවන්ට අනුරුප නොවන ලෙසින් හුදු කාමොත්පාදක රචනාවක් ලෙසින් ලියවී තිබුනද……(වෙළඳ උපක්‍රමයක් දෝයි සිතෙන තරමට )
නිශ්චිත කාලයක් සහ සිද්දියක් ඉලක්ක කර ගත් ඉතිහාස කතාවක් ලෙසින් ගත් කල හැමදාම කියවන්නට ලැබෙන මානයෙන් ඔබ්බට ගිය නවමු යමක් (විශේෂයෙන්ම මේ රචනා රීතිය තුල ) නොමැති වීම විශාල අඩුපාඩුවක් ලෙස දැනුනද…..

මාගම් සෝලියට මම කැමති වෙමි.

ඒ මන්ද යත්,
සිංහලෙන් කියවීමට වඩාත්ම ප්‍රියතාවයක් දක්වන අප වැනි සාමාන්‍ය මැද පංතියේ පාඨකයන් තවදුරටත් සිංහල නවකතාව තුල රඳවා ගන්නට නම් සිංහලයෙන් ලියන ලේඛකයන් මෙවැනි වෙනස් ආකෘති තුල පිහිටා රචනාවේ යෙදිය යුතු බවත්...සමගාමී ලෝක සාහිත්‍යයේ අලුත් අත්හදා බැලීම් සහ සොයා ගැනීම් වලට සිංහල සාහිත්‍යය නිරාවරණය විය යුතු බවත් පාඨකයෙක් වශයෙන් මා දැඩිව විශ්වාස කරන නිසා වෙනි.

Comments

Popular posts from this blog

The Light Between Oceans - ආලෝකයේ පාට හොයා ගමු

The Virgin Spring (1960) - නිර්මල දිය දහර.